පෘතග්ජන භාවයෙන් ආර්ය ශ්‍රාවකත්වයට පත් වන ආකාරය ද ඒ සඳහා වන බාධා ජය ගත යුතු ආකාරය
ද මේ ලිපියෙන් දැක්වේ.
එබැවින් මේ බුදු සසුනෙහි උතුම් ශාවකයකු හෙවත් ආර්ය ශ්‍රාවකයකු බවට පත් වීමට නම්, ඊට
ඇති බාධාවන් හඳුනාගැනීමත්, ඒවා දුරු කරගැනීමත් අතිශයින් වැදගත් වෙයි. යම් කිසිවකුට
නිර්මල වූ සද්ධර්මය අසන්නට ලැබුණත් ඔහු ආර්ය ශ්‍රාවක භාවයට පත් නොවීමට හේතු වන
කරුණු ගණනාවක් බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ වදාරා ඇත.“.... ඡහි භික්ඛවේ ධම්මෙහි සමන්නාගතෝ සුනන්තෝ පි සද්ධම්මං, අභබ්භෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං, කතමේහි ඡහි?”
“... මහණෙනි, කරුණු සයකින් යුක්ත වන පුද්ගලයාට, දහම් ඇසුව ද, කුසල ධර්මයන් ගේ සම්මත්ත නියාමයට බැසගැනීමට නොහැකි වෙයි. ඒ සය කවරේ ද යත්,
1. දහම් ඇසීමෙහි කැමැත්තක් නොමැති වීම
(න සුස්සූසති)
2. දහම් ඇසීමේදී ඊට ඕනෑකමින් සවන් යොමු නොකිරීම (න සෝතං ඕදහති)
3. දහම් අවබෝධ කරගැනීම පිණිස සිත නොයෙදවීම (න අඤ්ඤා චිත්තං උපට්ඨපේති)
4. දහමෙහි නැති අර්ථයන් හෝ වැරදි අර්ථයන් ගැනීම. (අනත්ථං ගණ්හාති)
5. දහමෙහි නියම අර්ථය නොගැනීම (අත්ථං රිඤ්චති)
6. දහමට අනුකූල නොවන මානසිකත්වයකින් යුක්ත වීම, (අනනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති) මෙහි අදහස නම් දහම් අවබෝධයට බාධක වූ, නොගැළපෙන අදහස්වලින් යුක්ත වීම යි. (සුස්සූසති සූත්‍රය - සීති වර්ගය – ඡක්ක නිපාත – අං,නි.)
ඉහත දැක්වෙන හේතූන් නිසා ඇතැම් පුද්ගලයෝ බණ ඇසූවත්, පෘථග්ජන භාවයෙන් මිදෙන්නට අසමත්
වෙති. ඇත්තෙන් ම අප උදේ සවස දිනපතා බුදු බණ ඇසූවත්, මුළු ත්‍රිපිටකය ම දහස් වරක්
කියවුවත්, අභිධර්ම විශාරදයන් බවට පත් වී සිටියත්, අප තුළ සද්ධාදි කුසල ධර්මයන්
පිබිදී නැත් නම්, අපි සම්මත්ත නියාමයට බැසගත්තෝ නො වෙමු.
6. දහමට අනුකූල නොවන මානසිකත්වයකින් යුක්ත වීම, (අනනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති) මෙහි අදහස නම් දහම් අවබෝධයට බාධක වූ, නොගැළපෙන අදහස්වලින් යුක්ත වීම යි. (සුස්සූසති සූත්‍රය - සීති වර්ගය – ඡක්ක නිපාත – අං,නි.)
පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටින්නෝ වෙමු. අපේ තත්ත්වය එය නම් අප තවමත් මේ උතුම් දහමින් නියම ප්‍රයෝජනයක් ගෙන නැති බව පැහැදිලි ය. අප තවමත් හරි හැටි බුදු බණ අසා නැති බව පැහැදිලි ය. මෙය එක් එක් පුද්ගලයා විසින් තම තමන් පිළිබඳ සිතා බලා වටහාගත යුතු කරුණකි. තමා පෘථග්ජන චර්යාවෙහි ගැලී සිටින්නෙක් ද නැත් ද යන්න තමා විසින් ම දැකගත යුතු දැකගත හැකි කරුණකි. එහෙත් එය කළ හැක්කේ ධර්මය දැනගෙන, ධර්මය තුළින් තමා දෙස බලන්නට සමත් වන්නකුට පමණි.
කෙසේ හෝ වේවා, සම්මත්ත නියාමයට බැසගැනීමට බාධා වන ධර්ම වශයෙන් ඉහත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇති කරුණු සියල්ල ම පාහේ, ඕනෑකමත් උත්සාහයත් ඇත් නම් පුද්ගලයකුට මේ ජීවිතය තුළදී ම නිවැරදි කරගත හැකි දේ බව පැහැදිලි ය. එහිලා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර හා මගපෙන්වීම අතිශයින් උපකාරී වෙයි. යමකුට තමා තුළ පවත්නා දුර්වලතා නිවැරදි කරගත හැක්කේ, එම දුර්වලතා තමා තුළ ඇති බව දැනගත හොත් පමණි. එසේ දැන ගැනීමටත්, ඒවා දුරු කරගැනීමටත් සත්පුරුෂ ආශ්‍රය මහෝපකාරී වෙයි.
ඉහත දක්වන ලද හේතූන්ට අමතර ව තවත් ආවරණ ධර්ම සයක් නිසා ද, පුද්ගලයකුට සම්මත්ත නියාමයට බැසගැනීමට ඇති අවස්ථාව වැසී යා හැකි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයෙහි, සීති වර්ගයේ එන ආවරණ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ වදාරා ඇත. ඒවා නම්,
1. කම්මාවරණ –
මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, පාපී සිතින් තථාගතයන් වහන්සේගේ ලේ
සෙලවීම, සංඝයා භේද කිරීම යන බරපතළ පාපයන් මෙහිලා ඇතුළත් වෙයි. ආනන්තර්ය පාප කර්ම
ලෙස හැඳින්වෙන මේ දරුණු පාපයන් යමකු විසින් විසින් සිදු කරන ලද්දේ නම්, ඔහුට එම
ජීවිතය තුළදී පෘථග්ජන භාවය ඉක්මවා සම්මත්ත නියාමයන්ට පත් වීමට එය බාධකයක් වෙයි;
ආවරණයක් වෙයි.
2. කිලේසාවරණ -
මෙයින් අදහස් වන්නේ කෙලෙස් සිතුවිලි මතු වීමෙන් ඇති වන බාධාව යි. යමකුගේ සිත් තණ්හා
- ආශා - රාග සිතුවිලිවලින් කැලඹී ඇත්නම් තරහ - වෛර – ද්වේශ සිතුවිලිවලින් කුපිත වී
ඇත්නම්, කම්මැළි නිදිබර බවින් උදාසීන වී ඇත්නම්, කනස්සල්ලෙන් – පසුතැවීමෙන් පීඩාවට
පත් වී ඇත් නම්, අවුල් වියවුල් - ප්‍රශ්නවලින් නොසන්සුන් වී ඇත් නම්, එසේ ම විවිධ
වූ වැරදි විශ්වාස, මිථ්‍යා දෘෂ්ටි හා සැකසංකාවලින් වික්ෂිප්ත වී ඇත් නම්, එවැන්නකුට
බුදු මුවින් ම බුදු බණ ඇසූවත් සම්මත්ත නියාමයට බැස ගැනීමට නොහැකි විය හැකි ය.
3. විපාකාවරණ -
මෙයින් අදහස් වන්නේ පෙර කරන ලද බරපතළ පාපකර්මයන්ගේ විපාකවල බලපෑම නිසා සිදු වන
බාධාව යි. පාප කර්මයන්ගේ විපාක ලෙස ඇති වන ඉතා දරුණු කායික – මානසික රෝග පීඩාවන් හා
ඉන්ද්‍රිය දුබලතාවන් විපාකාවරණයනට නිදසුන් ලෙස දැක්විය හැකි ය.
4. අස්සද්ධ භාවය –
ධර්මය හෝ ධර්ම දේශකයා කෙරෙහි පැහැදීමක්, පිළිගැනීමක්, විශ්වාසයක් නොමැති වීම මෙයින්
අදහස් වෙයි. මේ හේතුව නිසා ධර්මය අසන්නට ලැබුණත් එය වටහා ගැනීමට පිළිගැනීමට සිත
යොමු නො වෙයි.
5. අච්ඡන්දික භාවය –
ධර්මය දැනගැනීමට හෝ ධර්ම මාර්ගයට යොමු වීමට කැමැත්තක් නොමැති වීම අච්ඡන්දික භාවය
යි. එසේ ම ධර්මයට නොගැළපෙන රුචිකත්වයකින් යුක්ත වීම ද අච්ඡන්දික භාවයකි. ඇතැම්
සූත්‍ර දේශනාවල “අනනුලෝමිකාය ඛන්තියා” යනුවෙන් දැක්වෙන්නේ ද මේ ධර්මය හා අනුකුල
නොවූ රුචිකත්වය බැව් පෙනේ.
6. දුප්පඤ්ඤ භාවය -
මෙයින් අදහස් වන්නේ කරුණු වටහාගැනීමට අවශ්‍ය බුද්ධියෙන් තොර වීම යි. මෙය පෙර කළ පාප
කර්මයක විපාකයක් (විපාකාවරණයක්) ලෙස උපතින් ම ඇති වන මන්ද බුද්ධික භාවය නිසා හෝ මේ
ජීවිතයේදී කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ නැණවතුන්ගේ ඇසුරක් නොලැබීමෙන් චින්තන ශක්තිය මොට
වීම නිසා හෝ ඇති විය හැකි දුර්වලතාවකි.ඉහත දැක්වෙන බාධක ධර්මයන්ට හසු වීම නිසා බොහෝ සත්ත්වයෝ මිනිසත් බවක් ලැබූවත්, බුද්ධෝත්පාද කාලයක ඉපදුණත් බුදු බණ අසන්නට කියවන්නට පහසුකම් ඇති සමාජයක ජීවත් වුවත්, ඉන් නිසි ඵලයක් ලබාගැනීමට අසමත් වෙති. බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ වූ කුසල ධර්මයන්ගේ සම්මත්ත නියාමයට බැසගත නොහැකි ව පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටිති.
ඇත්තෙන් ම මේ බාධක ධර්මයන්, බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත්තේ ඒවා අතරින් අපට දුරු කළ හැකි දේ දුරු කරගෙන මේ ජීවිතය තුළදී ම තථාගත ධර්මයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අප යොමු කරවීමට බව අප පැහැදිලිව ම තේරුම්ගත යුතු ය.
එහෙයිනි නිවන් මග හෙළි වී පවත්නා මෙවන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයකදී, මන්දබුද්ධික නොවූ උතුම් මිනිස් ජීවිතයක් ලබන්නටත්, කල්‍යාණ මිත්‍ර සත්පූරුෂයන් ඇසුරු කරන්නටත්, බුදු බණ අසන්නට, කියවන්නට සාකච්ඡා කරන්නටත් අවස්ථාව ලැබූ මනුෂ්‍යයකු, පෙර කළ පින් බලයෙන් තමා ලද මේ උතුම් දුර්ලභ අවස්ථාව අවසන් වී යන තුරුත්, පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටින්නේ නම්, එය ඔහුගේ ම වරද මිස අන් කවරක් ද?
බුදු බණ නිවැරැදිව අසා දැනගෙන සද්ධා - විරිය - සති - සමාධි – පඤ්ඤා යන කුසල ධර්මයන් පුබුදුවාගැනීමේ අවස්ථාව අදත් අප හමුවේ විවෘත ව පවතී. ඒ අවස්ථාව පාදාගෙන, සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව නිවන් මගට යොමු වී සිටින පුද්ගලයා මහත් වාසනාවන්තයෙකි. මක් නිසා ද යත්, ඔහු පෘථග්ජනභාවය ඉක්මවූ සම්බෝධි පරායණ පුද්ගලයකු හෙවත් ආර්ය ශ්‍රාවකයකු ලෙස බුදු පියාණන් වහන්සේ වදාරා ඇති බැවිනි.
No comments:
Post a Comment