Friday, April 12, 2013

අපේ අවුරුදු කාලේ වෙනස්‌ වෙලා රාලේ !




එරමුදු ගස්‌වල මල් පිපෙන්නේ සිංහල අවුරුද්ද කිට්‌ටුවන විටය. අවුරුද්දත් කිට්‌ටු කිට්‌ටු, එරමුදු මල් මොට්‌ටු, මොට්‌ටු කියමින් ගම්බද දරු දැරියන් ප්‍රීතිවන්නේ බක්‌ මාසය උදාවීමත් සමගය. එමෙන්ම ගස්‌ වැල් වල මල් පිපී පලින් බර වන්නේද මේ කාලයටය. මේ කාලයට පරිසරයේ දක්‌නට ඇත්තේ අමුතුම සිරියාවකි.

ගැමි දරු දැරියන් කජු රැස්‌කර ගැනීම සඳහා කජු ගස්‌ යට කරක්‌ ගසන්නේද මේ කාලයේදීය. වල කජු ගැසීම සිංහල අවුරුදු කාලයේදී ගම්බද දරු දැරියන් අතර දක්‌නට ලැබෙන ජන ක්‍රීඩාවකි. මෙවැනි ජන ක්‍රීඩා කෙරෙහි අපේ ඇත්තන් දැඩි උනන්දුවක්‌ දක්‌වන්නේද සිංහල අවුරුදු කාලය එළඹෙනවාත් සමගය.

මේ කාලයට දරු දැරියන් මෙන්ම වැඩිහිටියන්ද කාන්තාවන් හා පිරිමි අයද මහත් ආශාවෙන් මෙකී ජන ක්‍රීඩා වල නිරත වෙති. "පංච" කෙළිය, ඔළිඳ කෙළිය, කල්ලි ගැසීම, නෙරංචි ගැසීම, ලුණු පැනීම, බූ කෙළිය, චක්‌ගුඩු පැනීම, එළුවන් ගැනීම, ඔන්චිල්ලා පැදීම, කොට්‌ටාපොරය, පොර පොල් ගැසීම, අං ඇදීම, ලී කෙළිය, කඩු හරඹය, ඉඩොක්‌ ගැසීම, කැට ගැසීම, පොල් නෙලීම ආදිය අපේ ජන ක්‍රීඩාවන්ය. අපේ ඇත්තන් මෙකී ඇතැම් ජන ක්‍රීඩා වල නිරත වන්නේ හුදු විනෝදය සඳහාමය.

ඔළිඳ කෙළිය අපේ කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වුවකි. ඔළිඳ වෙනුවට අපේ පැරැන්නන් එකළ භාවිත කරනු ලැබුවේ මුතුය. එකළ මෙම ක්‍රීඩාව සීමාවී තිබී ඇත්තේ ධනවතුන්ටය. පසුව මෙම ක්‍රීඩාව පොදු ජනතාව අතරද ජනප්‍රියත්වයට පත්විය.

ඔළිඳ කෙළිය ගැන අපේ ජනකවි වලින්ද විස්‌තර කොට ඇත්තේය.

මෙදා අපට ගිය අවුරුදු කෝ නේ

බෙදී දෙපිල මුතු කෙළිනා මා නේ

ළැමදත් උණුවෙයි ලෙස ගිනිපා නේ

ඔළිඳ හදාපන් කෙළියට නෑ නේ


මේ එවැනි ජනකවියකි. එළුවන් ගැනීම ද අපේ තවත් ජන ක්‍රීඩාවකි. මේ එළුවන් ගැනීම විස්‌තර වන ජන කවියකි.

ගේ ගොම ගලා ගත් මගෙ එළුවා

නුඹට කොයින්දැ මාගේ එළුවා

එළුවන් කන්නයි මං අවේ

එළු බෙටි කාපන් සොන්දීරේ


අලුත් සිංහල අවුරුදු කාලය උදාවීමත් සමග එදා ගම්මාන වල දක්‌නට ලැබූ මෙවැනි ජන ක්‍රීඩා අද ගම්බද ප්‍රදේශවලද දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අපේ දරු දැරියන්ට පමණක්‌ නොව ඇතැම් වැඩිහිටියන්ටද මෙවැනි ජන ක්‍රීඩා ගැන අවබෝධයක්‌ වැටහීමක්‌ නැත. අවුරුදු උත්සව වලදීත් දක්‌නට ලැබෙන්නේ අපේ ජන ක්‍රීඩා වෙනුවට නානා මාදිලියේ වෙනත් ක්‍රීඩාවන්ය. සැබවින්ම සියල්ල නවීකරණය වී ඇත්තේය. ජන ක්‍රීඩා පමණක්‌ නොව ස්‌වභාව ධර්මයද වෙනස්‌ වෙලාය.

එදා ගමේ ඉඩමේ වැට මායිම් වල සිටුවා තිබුණේ එරමුදු ගස්‌ය. අද වැට මායිම් වල දක්‌නට ඇත්තේ කොන්ක්‍රීට්‌ කණුය. එරමුදු ගසක්‌ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒවායේ පිපුණු මල් අද දක්‌නට නැත්තේය. ගම්බද කොල්ලෝ කුරුට්‌ටෝ කජු එක්‌රැස්‌ කිරීමට හෝ වලකජු ගැසීමට යන්නේ නැත. එදා ගම්බද ප්‍රදේශවල සෑම ඉඩමකම කජු ගසක්‌ දක්‌නට ලැබුණි. අද සෑම දෙයක්‌ම වෙනසකට ලක්‌වී ඇත්තේය.

එදා ගම්මානයක නිවාස පහකට දහයකට පමණ රබානක්‌ තිබුණි. රබන් ගැසීමට හොඳ පළපුරුදු කාරියන්ද ගමේ සිටියහ. ගැමි කතුන් රබන් සුරල් පද තාලයට ගැසුවේ හරි අපූරු ලතාවකටය. අද ළමුන්ට එවැනි රබන් සුරල් පද අසන්නට නැත. සියල්ල අපෙන් වියෑකී යමින් පවතී.

කොටින්ම කිවහොත් අපේ අවුරුදු උත්සවය වර්තමානයේ වාණිජකරණයට ලක්‌වී ඇත්තේය. අවුරුදු කාලයට රූප පෙට්‌ටියේ දක්‌නට ලැබෙන වෙළෙඳ දැන්වීම් වලින් ඒ බව මනාව පැහැදිලි වේ. අවුරුදු උත්සවය ආරම්භවී ඇත්තේ හිරු දෙවියා ඇදහීම සඳහාය. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මුල්කොට ගෙන අවුරුදු උත්සවය ආරම්භවීය.

මෙරට මෙකී උත්සවය කවර කාලයකදී ආරම්භ වූවාදැයි නිශ්චිත තොරතුරු නැත. එහෙත් නුවර යුගයේදී අවුරුදු උත්සවයේ විවිධ අංග සංවිධානය කිරීම සඳහා රජයේ නිලධාරීන් පිරිසක්‌ සිටියහ. අවුරුදු සීට්‌ටුව ලියන්නාද ඉන් එක්‌ අයෙකි.

සියලු අවුරුදු චාරිත්‍ර සඳහන්කොට දින නියමයන් ඇතිව ලියන අවුරුදු විස්‌තරය අවුරුදු සීට්‌ටුව නම් වේ. එදා එය මුළු ගම්මානය පුරාම ගියේ අනිත් අතටය. එක්‌ ගෙයකට ලැබුණු අවුරුදු සීට්‌ටුව බලා ඊළඟ ගෙයට ලබාදෙයි. මේ ආකාරයට ගමේ එකදු ගෙයක්‌ නෑර අවුරුදු සීට්‌ටුව ගෙයින් ගෙට යවනු ලැබීය. පුවත්පත් පවා නොතිබුණු මෙම කාලයේදී මේ තුළින් වූ සේවාව සුළුපටු නොවේ.

කෙසේ වුවද වර්ථමානයේ නම් අවුරුදු චාරිත්‍ර මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබේ. ඒ සඳහා අනුග්‍රාහකයන්ද ඕනෑතරම් සිටිති. මුළු ලෝකයම අද විශ්ව ගම්මානයක්‌ බවට පත් වී තිබේ. සංනිවේදනය ඇතිවූ සීග්‍ර දියුණුව නිසා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දැන ගැනීමට අද අවුරුදු සීට්‌ටුව අවශ්‍ය නොවේ.

අපේ අවුරුද්ද කොයි ආකාරයෙන් වාණිජ කරණයට ලක්‌වී තිබුණ ද අපේ ඇත්තන් අවුරුදු චාරිත්‍ර තවමත් අකුරටම ඉටුකරති. අපේ පැරැණ්‌නෝ තමාගේ වැදගත් කටයුතු සියල්ලන්ම කරණ ලද්දේ සුභ මොහොතිනි. නොඑසේනම් නැකතක්‌ අනුවය. අවුරුදු උත්සවයේදී ද අවුරුදු ලබන වේලාව වැඩ අතහරින මොහොත, ලිප ගිනි දැල්වීම, ආහාර පිසීම, අනුභව කිරීම, ගනුදෙනුව, හිස තෙල් ගෑම හා කෑම ආදි සියලු දේම මෙන්ම වැඩ ඇල්ලීම, ගමන් බිමන් යැම ආදී සියලු කටයුතු නැකත් අනුවම සිදුකෙරේ.

එමෙන්ම බුලත් දීමෙන් වැඩිහිටියන් කමාකර ගැනීම අවුරුදු උත්සවයේදී දක්‌නට ලැබෙන උසස්‌ම සිරිතයි. තමන් අතින් වූ සුළු සුළු වැරැදි කමා කර ගන්නේ බුලත් අතක්‌ දී වැඳීමෙනි. අපේ අවුරුද්ද ගැන අවුරුදු මාලය නමින් පොතක්‌ නුවර යුගයේ අවසාන භාගයේ ලියවී තිබේ.

අංචි මැංචි සමග එක්‌ව පුංචි හාමිලා

පුංචි පුංචි ගෑනු ළමයි රංචු එක්‌වෙලා

කොංචි කොංචි සිනා සිසී පුංචි නෝනලා

රංචු රංචු ගෑනු සිටිති පංචි කෙළ කෙළා

මේ අවුරුදු මාලය නමැති පොතේ සඳහන් රසවත් කවියකි. සැබවින්ම බාල මහලු ගෑනු පිරිමි ළමා ළපටි කොයි කවුරුත් එක්‌වී කෙළි දෙළෙන් ගත කරන්නේ අවුරුදු කාලයටය. අලුත් අවුරුද්දට දුප්පත් නිවසක වුවද කැවුම් කිරිබත් පිළියළ කරන අතර බොහෝ විට අපේ කාන්තාව කැවුම් අතිරස ආදි කැවිලි වර්ග කලින්ම සකස්‌ කොට තබන්නීය.

තවමත් සෑම සිංහල නිවසකින්ම පාහේ කිසියම් රස කැවිල්ලක සුවඳ විහිදී එන්නේය. කැවුම් ඉවීම ගජරා- මෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. සිංහලයාගේ කැවිලි පෙවිලි වලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට්‌ නොකස්‌ සඳහන් කළේ ඒ නිසාය.

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. සිංහල කැවිලි වර්ග වලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී අරත්තේ නුවර යුගයේදීය. නානා මාදිලියේ කැවිලි වර්ග අපේ ගැමි කාන්තාව විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍යය අනුව කැවුම් වලට විවිධ වූ නම් ලැබී තිබේ.

නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම්, ආදී කැවුම් වර්ග රාශියකි. සැබවින්ම රස කැවිලි වලට හොඳ ඉල්ලුමක්‌ ඇති වන්නේද සිංහල අවුරුදු කාලයටය. ගම්බද කෙතරම් අග හිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමිලිය අලුත් අවුරුද්දට කැවුම් ඉවීමට අමතක නොකරති. අපේ ගැමි ළඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය.

එදා රොබට්‌ නොක්‌ස්‌ පවා අපේ රටේ ළඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට එම රස කැවිලි වලට වශී වී තිබේ. කැවුම් ඉවීමට දක්‍ෂ කාන්තාවන් අදත් ගම්බද ප්‍රදේශවල සිටිති. මෙම කාන්තාවන් හ»න්වන්නේ කැවුම් අම්මලා යනුවෙනි. එහෙත් කැවුම් ගෙඩියක්‌ පවා ඉවීමට නොහැකි කාන්තාවන් ඕනෑ තරම් අද නාගරික ප්‍රදේශවල පමණක්‌ නොව ගම්බද ප්‍රදේශවලද සිටිති.

අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි පිඟානක්‌ තම නෑ ගෙවල් වල මෙන්ම හිතවතුන්ගේ ගෙවල් වලට රැගෙන යැම සිරිතකි. අදත් ගම්බද ප්‍රදේශවල අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි පිඟානක්‌ හුවමාරු කර ගැනීම දැකිය හැකිය. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත ඇතිවිය. නොහොඳ නොක්‌කාඩු දිගින් දිගමට පැවතුනේද නැත.

No comments:

Post a Comment