Saturday, April 20, 2013

පෝය 12 වැදගත්කම


පෝය දිනය බෞද්ධයාට අතිශයින්ම වැදගත් දිනයකි. බෞද්ධ විහාරස්ථානවල නොයෙක් පින්කම් රාශියක් සිදු කරන්නට පසළොස්වක පෝය දිනය යොදා ගනු ලබයි. ගිහි උපාසක, උපාසිකාවන් පෙහෙවස් සමාදන් වන්නේත් පෝය දිනයේදීයි. මසකට පෝය දින සතරක් තිබුණ ද එයින් වඩා වැදගත් කොට සලකන්නේ පුර පසළොස්වක පෝය දිනයයි. ගමේ පන්සල හා සම්බන්ධ පින්කම් කටයුතුවල පමණක් නොව දුර බැහැර වැදගත් සිද්ධස්ථාන වන්දනා මාන කරන්නට යන්නේ ද බොහෝ විට පෝය දිනයේදීය. කෙසේ වුවත් සෑම පුර පසළොස්වක පෝය දිනයක්ම බෞද්ධයාට ඉතා වැදගත්ය.
වෙසක් පුර පසළොස්වක පෝයලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදු වූයෙ මෙම පෝය දිනයේදීය. ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම්,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම.විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීීම් කටයුතු නැකතට ආරම්භ කිරීම.බෞද්ධ අපට අතිශය වැදගත් වන්දනාව වූ සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. මීට අමතරව කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.
පොසොන් පුර පසළොස්වක පෝයවෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට අතිශය වැදගත් පෝය දිනයකි.අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනත් අපේ සැදැහැවතුන් වැඩි වශයෙන්ම වන්දනාමාන කරනු පිණිස යන්නේ අනුරාධපුරයට හා මිහින්තලයටයි.
ඇසළ පුර පසළොස්වක පෝයබෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහරත්, ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි. ඇසළ පෝය දිනයේ දී අපේ සැදැහැවතුන් වැඩිපුරම වන්දනා පිණිස යන්නේ මහනුවරටයි.
නිකිණි පුර පසළොස්වක පෝය දිනයආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.
බිනර පුර පසළොස්වක පෝයධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.
වප් පුර පසළොස්වක පෝයබුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.
ඉල් පුර පසළොස්වක පෝයලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.
උඳුවප් පුර පසළොස්වක පෝයසංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.
දුරුතු පුර පසළොස්වක පෝයබුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම හා සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද දුරුතු පෝය දින සිටයි. දුරුතු පෝය දිනයෙ දී වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.
නවම් පුර පසළොස්වක පෝයබුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.
මැදින් පුර පසළොස්වක පෝයබුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.බක් පුර පසළොස්වක පෝය,බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම.

අසිරිමත් බක් පෝය

අසිරිමත් බක් පෝය



ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික
පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.


අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.

හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.
වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.
මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.
බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.
ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.
බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.
ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.
මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.
මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි.

උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශතවර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.
නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බවට කෙතෙකුත් සාක්ෂි ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නොබලා දුෂ්කරකම් ගැන නොසලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්තව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මලව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසාය.

සතර පෙර නිමිති පහළවීම

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියහ.
සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරි අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනව වසක් සපිරි සිදුහත් මහා බෝසතාණන්වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා (මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනයක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසල පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.

කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවුයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්ණ කළහ.

Friday, April 12, 2013

අපේ අවුරුදු කාලේ වෙනස්‌ වෙලා රාලේ !




එරමුදු ගස්‌වල මල් පිපෙන්නේ සිංහල අවුරුද්ද කිට්‌ටුවන විටය. අවුරුද්දත් කිට්‌ටු කිට්‌ටු, එරමුදු මල් මොට්‌ටු, මොට්‌ටු කියමින් ගම්බද දරු දැරියන් ප්‍රීතිවන්නේ බක්‌ මාසය උදාවීමත් සමගය. එමෙන්ම ගස්‌ වැල් වල මල් පිපී පලින් බර වන්නේද මේ කාලයටය. මේ කාලයට පරිසරයේ දක්‌නට ඇත්තේ අමුතුම සිරියාවකි.

ගැමි දරු දැරියන් කජු රැස්‌කර ගැනීම සඳහා කජු ගස්‌ යට කරක්‌ ගසන්නේද මේ කාලයේදීය. වල කජු ගැසීම සිංහල අවුරුදු කාලයේදී ගම්බද දරු දැරියන් අතර දක්‌නට ලැබෙන ජන ක්‍රීඩාවකි. මෙවැනි ජන ක්‍රීඩා කෙරෙහි අපේ ඇත්තන් දැඩි උනන්දුවක්‌ දක්‌වන්නේද සිංහල අවුරුදු කාලය එළඹෙනවාත් සමගය.

මේ කාලයට දරු දැරියන් මෙන්ම වැඩිහිටියන්ද කාන්තාවන් හා පිරිමි අයද මහත් ආශාවෙන් මෙකී ජන ක්‍රීඩා වල නිරත වෙති. "පංච" කෙළිය, ඔළිඳ කෙළිය, කල්ලි ගැසීම, නෙරංචි ගැසීම, ලුණු පැනීම, බූ කෙළිය, චක්‌ගුඩු පැනීම, එළුවන් ගැනීම, ඔන්චිල්ලා පැදීම, කොට්‌ටාපොරය, පොර පොල් ගැසීම, අං ඇදීම, ලී කෙළිය, කඩු හරඹය, ඉඩොක්‌ ගැසීම, කැට ගැසීම, පොල් නෙලීම ආදිය අපේ ජන ක්‍රීඩාවන්ය. අපේ ඇත්තන් මෙකී ඇතැම් ජන ක්‍රීඩා වල නිරත වන්නේ හුදු විනෝදය සඳහාමය.

ඔළිඳ කෙළිය අපේ කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වුවකි. ඔළිඳ වෙනුවට අපේ පැරැන්නන් එකළ භාවිත කරනු ලැබුවේ මුතුය. එකළ මෙම ක්‍රීඩාව සීමාවී තිබී ඇත්තේ ධනවතුන්ටය. පසුව මෙම ක්‍රීඩාව පොදු ජනතාව අතරද ජනප්‍රියත්වයට පත්විය.

ඔළිඳ කෙළිය ගැන අපේ ජනකවි වලින්ද විස්‌තර කොට ඇත්තේය.

මෙදා අපට ගිය අවුරුදු කෝ නේ

බෙදී දෙපිල මුතු කෙළිනා මා නේ

ළැමදත් උණුවෙයි ලෙස ගිනිපා නේ

ඔළිඳ හදාපන් කෙළියට නෑ නේ


මේ එවැනි ජනකවියකි. එළුවන් ගැනීම ද අපේ තවත් ජන ක්‍රීඩාවකි. මේ එළුවන් ගැනීම විස්‌තර වන ජන කවියකි.

ගේ ගොම ගලා ගත් මගෙ එළුවා

නුඹට කොයින්දැ මාගේ එළුවා

එළුවන් කන්නයි මං අවේ

එළු බෙටි කාපන් සොන්දීරේ


අලුත් සිංහල අවුරුදු කාලය උදාවීමත් සමග එදා ගම්මාන වල දක්‌නට ලැබූ මෙවැනි ජන ක්‍රීඩා අද ගම්බද ප්‍රදේශවලද දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අපේ දරු දැරියන්ට පමණක්‌ නොව ඇතැම් වැඩිහිටියන්ටද මෙවැනි ජන ක්‍රීඩා ගැන අවබෝධයක්‌ වැටහීමක්‌ නැත. අවුරුදු උත්සව වලදීත් දක්‌නට ලැබෙන්නේ අපේ ජන ක්‍රීඩා වෙනුවට නානා මාදිලියේ වෙනත් ක්‍රීඩාවන්ය. සැබවින්ම සියල්ල නවීකරණය වී ඇත්තේය. ජන ක්‍රීඩා පමණක්‌ නොව ස්‌වභාව ධර්මයද වෙනස්‌ වෙලාය.

එදා ගමේ ඉඩමේ වැට මායිම් වල සිටුවා තිබුණේ එරමුදු ගස්‌ය. අද වැට මායිම් වල දක්‌නට ඇත්තේ කොන්ක්‍රීට්‌ කණුය. එරමුදු ගසක්‌ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒවායේ පිපුණු මල් අද දක්‌නට නැත්තේය. ගම්බද කොල්ලෝ කුරුට්‌ටෝ කජු එක්‌රැස්‌ කිරීමට හෝ වලකජු ගැසීමට යන්නේ නැත. එදා ගම්බද ප්‍රදේශවල සෑම ඉඩමකම කජු ගසක්‌ දක්‌නට ලැබුණි. අද සෑම දෙයක්‌ම වෙනසකට ලක්‌වී ඇත්තේය.

එදා ගම්මානයක නිවාස පහකට දහයකට පමණ රබානක්‌ තිබුණි. රබන් ගැසීමට හොඳ පළපුරුදු කාරියන්ද ගමේ සිටියහ. ගැමි කතුන් රබන් සුරල් පද තාලයට ගැසුවේ හරි අපූරු ලතාවකටය. අද ළමුන්ට එවැනි රබන් සුරල් පද අසන්නට නැත. සියල්ල අපෙන් වියෑකී යමින් පවතී.

කොටින්ම කිවහොත් අපේ අවුරුදු උත්සවය වර්තමානයේ වාණිජකරණයට ලක්‌වී ඇත්තේය. අවුරුදු කාලයට රූප පෙට්‌ටියේ දක්‌නට ලැබෙන වෙළෙඳ දැන්වීම් වලින් ඒ බව මනාව පැහැදිලි වේ. අවුරුදු උත්සවය ආරම්භවී ඇත්තේ හිරු දෙවියා ඇදහීම සඳහාය. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මුල්කොට ගෙන අවුරුදු උත්සවය ආරම්භවීය.

මෙරට මෙකී උත්සවය කවර කාලයකදී ආරම්භ වූවාදැයි නිශ්චිත තොරතුරු නැත. එහෙත් නුවර යුගයේදී අවුරුදු උත්සවයේ විවිධ අංග සංවිධානය කිරීම සඳහා රජයේ නිලධාරීන් පිරිසක්‌ සිටියහ. අවුරුදු සීට්‌ටුව ලියන්නාද ඉන් එක්‌ අයෙකි.

සියලු අවුරුදු චාරිත්‍ර සඳහන්කොට දින නියමයන් ඇතිව ලියන අවුරුදු විස්‌තරය අවුරුදු සීට්‌ටුව නම් වේ. එදා එය මුළු ගම්මානය පුරාම ගියේ අනිත් අතටය. එක්‌ ගෙයකට ලැබුණු අවුරුදු සීට්‌ටුව බලා ඊළඟ ගෙයට ලබාදෙයි. මේ ආකාරයට ගමේ එකදු ගෙයක්‌ නෑර අවුරුදු සීට්‌ටුව ගෙයින් ගෙට යවනු ලැබීය. පුවත්පත් පවා නොතිබුණු මෙම කාලයේදී මේ තුළින් වූ සේවාව සුළුපටු නොවේ.

කෙසේ වුවද වර්ථමානයේ නම් අවුරුදු චාරිත්‍ර මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබේ. ඒ සඳහා අනුග්‍රාහකයන්ද ඕනෑතරම් සිටිති. මුළු ලෝකයම අද විශ්ව ගම්මානයක්‌ බවට පත් වී තිබේ. සංනිවේදනය ඇතිවූ සීග්‍ර දියුණුව නිසා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දැන ගැනීමට අද අවුරුදු සීට්‌ටුව අවශ්‍ය නොවේ.

අපේ අවුරුද්ද කොයි ආකාරයෙන් වාණිජ කරණයට ලක්‌වී තිබුණ ද අපේ ඇත්තන් අවුරුදු චාරිත්‍ර තවමත් අකුරටම ඉටුකරති. අපේ පැරැණ්‌නෝ තමාගේ වැදගත් කටයුතු සියල්ලන්ම කරණ ලද්දේ සුභ මොහොතිනි. නොඑසේනම් නැකතක්‌ අනුවය. අවුරුදු උත්සවයේදී ද අවුරුදු ලබන වේලාව වැඩ අතහරින මොහොත, ලිප ගිනි දැල්වීම, ආහාර පිසීම, අනුභව කිරීම, ගනුදෙනුව, හිස තෙල් ගෑම හා කෑම ආදි සියලු දේම මෙන්ම වැඩ ඇල්ලීම, ගමන් බිමන් යැම ආදී සියලු කටයුතු නැකත් අනුවම සිදුකෙරේ.

එමෙන්ම බුලත් දීමෙන් වැඩිහිටියන් කමාකර ගැනීම අවුරුදු උත්සවයේදී දක්‌නට ලැබෙන උසස්‌ම සිරිතයි. තමන් අතින් වූ සුළු සුළු වැරැදි කමා කර ගන්නේ බුලත් අතක්‌ දී වැඳීමෙනි. අපේ අවුරුද්ද ගැන අවුරුදු මාලය නමින් පොතක්‌ නුවර යුගයේ අවසාන භාගයේ ලියවී තිබේ.

අංචි මැංචි සමග එක්‌ව පුංචි හාමිලා

පුංචි පුංචි ගෑනු ළමයි රංචු එක්‌වෙලා

කොංචි කොංචි සිනා සිසී පුංචි නෝනලා

රංචු රංචු ගෑනු සිටිති පංචි කෙළ කෙළා

මේ අවුරුදු මාලය නමැති පොතේ සඳහන් රසවත් කවියකි. සැබවින්ම බාල මහලු ගෑනු පිරිමි ළමා ළපටි කොයි කවුරුත් එක්‌වී කෙළි දෙළෙන් ගත කරන්නේ අවුරුදු කාලයටය. අලුත් අවුරුද්දට දුප්පත් නිවසක වුවද කැවුම් කිරිබත් පිළියළ කරන අතර බොහෝ විට අපේ කාන්තාව කැවුම් අතිරස ආදි කැවිලි වර්ග කලින්ම සකස්‌ කොට තබන්නීය.

තවමත් සෑම සිංහල නිවසකින්ම පාහේ කිසියම් රස කැවිල්ලක සුවඳ විහිදී එන්නේය. කැවුම් ඉවීම ගජරා- මෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. සිංහලයාගේ කැවිලි පෙවිලි වලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට්‌ නොකස්‌ සඳහන් කළේ ඒ නිසාය.

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. සිංහල කැවිලි වර්ග වලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී අරත්තේ නුවර යුගයේදීය. නානා මාදිලියේ කැවිලි වර්ග අපේ ගැමි කාන්තාව විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍යය අනුව කැවුම් වලට විවිධ වූ නම් ලැබී තිබේ.

නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම්, ආදී කැවුම් වර්ග රාශියකි. සැබවින්ම රස කැවිලි වලට හොඳ ඉල්ලුමක්‌ ඇති වන්නේද සිංහල අවුරුදු කාලයටය. ගම්බද කෙතරම් අග හිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමිලිය අලුත් අවුරුද්දට කැවුම් ඉවීමට අමතක නොකරති. අපේ ගැමි ළඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය.

එදා රොබට්‌ නොක්‌ස්‌ පවා අපේ රටේ ළඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට එම රස කැවිලි වලට වශී වී තිබේ. කැවුම් ඉවීමට දක්‍ෂ කාන්තාවන් අදත් ගම්බද ප්‍රදේශවල සිටිති. මෙම කාන්තාවන් හ»න්වන්නේ කැවුම් අම්මලා යනුවෙනි. එහෙත් කැවුම් ගෙඩියක්‌ පවා ඉවීමට නොහැකි කාන්තාවන් ඕනෑ තරම් අද නාගරික ප්‍රදේශවල පමණක්‌ නොව ගම්බද ප්‍රදේශවලද සිටිති.

අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි පිඟානක්‌ තම නෑ ගෙවල් වල මෙන්ම හිතවතුන්ගේ ගෙවල් වලට රැගෙන යැම සිරිතකි. අදත් ගම්බද ප්‍රදේශවල අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි පිඟානක්‌ හුවමාරු කර ගැනීම දැකිය හැකිය. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත ඇතිවිය. නොහොඳ නොක්‌කාඩු දිගින් දිගමට පැවතුනේද නැත.

Saturday, April 6, 2013

පෘථග්ජන භාවය ඉක්මවීම

පෘතග්ජන භාවයෙන් ආර්ය ශ්‍රාවකත්වයට පත් වන ආකාරය ද ඒ සඳහා වන බාධා ජය ගත යුතු ආකාරය ද මේ ලිපියෙන් දැක්වේ.
එබැවින් මේ බුදු සසුනෙහි උතුම් ශාවකයකු හෙවත් ආර්ය ශ්‍රාවකයකු බවට පත් වීමට නම්, ඊට ඇති බාධාවන් හඳුනාගැනීමත්, ඒවා දුරු කරගැනීමත් අතිශයින් වැදගත් වෙයි. යම් කිසිවකුට නිර්මල වූ සද්ධර්මය අසන්නට ලැබුණත් ඔහු ආර්ය ශ්‍රාවක භාවයට පත් නොවීමට හේතු වන කරුණු ගණනාවක් බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ වදාරා ඇත.
“.... ඡහි භික්ඛවේ ධම්මෙහි සමන්නාගතෝ සුනන්තෝ පි සද්ධම්මං, අභබ්භෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං, කතමේහි ඡහි?”
“... මහණෙනි, කරුණු සයකින් යුක්ත වන පුද්ගලයාට, දහම් ඇසුව ද, කුසල ධර්මයන් ගේ සම්මත්ත නියාමයට බැසගැනීමට නොහැකි වෙයි. ඒ සය කවරේ ද යත්,

1. දහම් ඇසීමෙහි කැමැත්තක් නොමැති වීම (න සුස්සූසති)
2. දහම් ඇසීමේදී ඊට ඕනෑකමින් සවන් යොමු නොකිරීම (න සෝතං ඕදහති)
3. දහම් අවබෝධ කරගැනීම පිණිස සිත නොයෙදවීම (න අඤ්ඤා චිත්තං උපට්ඨපේති)
4. දහමෙහි නැති අර්ථයන් හෝ වැරදි අර්ථයන් ගැනීම. (අනත්ථං ගණ්හාති)
5. දහමෙහි නියම අර්ථය නොගැනීම (අත්ථං රිඤ්චති)
6. දහමට අනුකූල නොවන මානසිකත්වයකින් යුක්ත වීම, (අනනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති) මෙහි අදහස නම් දහම් අවබෝධයට බාධක වූ, නොගැළපෙන අදහස්වලින් යුක්ත වීම යි. (සුස්සූසති සූත්‍රය - සීති වර්ගය – ඡක්ක නිපාත – අං,නි.)
ඉහත දැක්වෙන හේතූන් නිසා ඇතැම් පුද්ගලයෝ බණ ඇසූවත්, පෘථග්ජන භාවයෙන් මිදෙන්නට අසමත් වෙති. ඇත්තෙන් ම අප උදේ සවස දිනපතා බුදු බණ ඇසූවත්, මුළු ත්‍රිපිටකය ම දහස් වරක් කියවුවත්, අභිධර්ම විශාරදයන් බවට පත් වී සිටියත්, අප තුළ සද්ධාදි කුසල ධර්මයන් පිබිදී නැත් නම්, අපි සම්මත්ත නියාමයට බැසගත්තෝ නො වෙමු.
පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටින්නෝ වෙමු. අපේ තත්ත්වය එය නම් අප තවමත් මේ උතුම් දහමින් නියම ප්‍රයෝජනයක් ගෙන නැති බව පැහැදිලි ය. අප තවමත් හරි හැටි බුදු බණ අසා නැති බව පැහැදිලි ය. මෙය එක් එක් පුද්ගලයා විසින් තම තමන් පිළිබඳ සිතා බලා වටහාගත යුතු කරුණකි. තමා පෘථග්ජන චර්යාවෙහි ගැලී සිටින්නෙක් ද නැත් ද යන්න තමා විසින් ම දැකගත යුතු දැකගත හැකි කරුණකි. එහෙත් එය කළ හැක්කේ ධර්මය දැනගෙන, ධර්මය තුළින් තමා දෙස බලන්නට සමත් වන්නකුට පමණි.
කෙසේ හෝ වේවා, සම්මත්ත නියාමයට බැසගැනීමට බාධා වන ධර්ම වශයෙන් ඉහත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇති කරුණු සියල්ල ම පාහේ, ඕනෑකමත් උත්සාහයත් ඇත් නම් පුද්ගලයකුට මේ ජීවිතය තුළදී ම නිවැරදි කරගත හැකි දේ බව පැහැදිලි ය. එහිලා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර හා මගපෙන්වීම අතිශයින් උපකාරී වෙයි. යමකුට තමා තුළ පවත්නා දුර්වලතා නිවැරදි කරගත හැක්කේ, එම දුර්වලතා තමා තුළ ඇති බව දැනගත හොත් පමණි. එසේ දැන ගැනීමටත්, ඒවා දුරු කරගැනීමටත් සත්පුරුෂ ආශ්‍රය මහෝපකාරී වෙයි.
ඉහත දක්වන ලද හේතූන්ට අමතර ව තවත් ආවරණ ධර්ම සයක් නිසා ද, පුද්ගලයකුට සම්මත්ත නියාමයට බැසගැනීමට ඇති අවස්ථාව වැසී යා හැකි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයෙහි, සීති වර්ගයේ එන ආවරණ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ වදාරා ඇත. ඒවා නම්,
1. කම්මාවරණ –
මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, පාපී සිතින් තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම යන බරපතළ පාපයන් මෙහිලා ඇතුළත් වෙයි. ආනන්තර්ය පාප කර්ම ලෙස හැඳින්වෙන මේ දරුණු පාපයන් යමකු විසින් විසින් සිදු කරන ලද්දේ නම්, ඔහුට එම ජීවිතය තුළදී පෘථග්ජන භාවය ඉක්මවා සම්මත්ත නියාමයන්ට පත් වීමට එය බාධකයක් වෙයි; ආවරණයක් වෙයි.
2. කිලේසාවරණ -
මෙයින් අදහස් වන්නේ කෙලෙස් සිතුවිලි මතු වීමෙන් ඇති වන බාධාව යි. යමකුගේ සිත් තණ්හා - ආශා - රාග සිතුවිලිවලින් කැලඹී ඇත්නම් තරහ - වෛර – ද්වේශ සිතුවිලිවලින් කුපිත වී ඇත්නම්, කම්මැළි නිදිබර බවින් උදාසීන වී ඇත්නම්, කනස්සල්ලෙන් – පසුතැවීමෙන් පීඩාවට පත් වී ඇත් නම්, අවුල් වියවුල් - ප්‍රශ්නවලින් නොසන්සුන් වී ඇත් නම්, එසේ ම විවිධ වූ වැරදි විශ්වාස, මිථ්‍යා දෘෂ්ටි හා සැකසංකාවලින් වික්ෂිප්ත වී ඇත් නම්, එවැන්නකුට බුදු මුවින් ම බුදු බණ ඇසූවත් සම්මත්ත නියාමයට බැස ගැනීමට නොහැකි විය හැකි ය.
3. විපාකාවරණ -
මෙයින් අදහස් වන්නේ පෙර කරන ලද බරපතළ පාපකර්මයන්ගේ විපාකවල බලපෑම නිසා සිදු වන බාධාව යි. පාප කර්මයන්ගේ විපාක ලෙස ඇති වන ඉතා දරුණු කායික – මානසික රෝග පීඩාවන් හා ඉන්ද්‍රිය දුබලතාවන් විපාකාවරණයනට නිදසුන් ලෙස දැක්විය හැකි ය.
4. අස්සද්ධ භාවය –
ධර්මය හෝ ධර්ම දේශකයා කෙරෙහි පැහැදීමක්, පිළිගැනීමක්, විශ්වාසයක් නොමැති වීම මෙයින් අදහස් වෙයි. මේ හේතුව නිසා ධර්මය අසන්නට ලැබුණත් එය වටහා ගැනීමට පිළිගැනීමට සිත යොමු නො වෙයි.
5. අච්ඡන්දික භාවය –
ධර්මය දැනගැනීමට හෝ ධර්ම මාර්ගයට යොමු වීමට කැමැත්තක් නොමැති වීම අච්ඡන්දික භාවය යි. එසේ ම ධර්මයට නොගැළපෙන රුචිකත්වයකින් යුක්ත වීම ද අච්ඡන්දික භාවයකි. ඇතැම් සූත්‍ර දේශනාවල “අනනුලෝමිකාය ඛන්තියා” යනුවෙන් දැක්වෙන්නේ ද මේ ධර්මය හා අනුකුල නොවූ රුචිකත්වය බැව් පෙනේ.
6. දුප්පඤ්ඤ භාවය -
මෙයින් අදහස් වන්නේ කරුණු වටහාගැනීමට අවශ්‍ය බුද්ධියෙන් තොර වීම යි. මෙය පෙර කළ පාප කර්මයක විපාකයක් (විපාකාවරණයක්) ලෙස උපතින් ම ඇති වන මන්ද බුද්ධික භාවය නිසා හෝ මේ ජීවිතයේදී කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ නැණවතුන්ගේ ඇසුරක් නොලැබීමෙන් චින්තන ශක්තිය මොට වීම නිසා හෝ ඇති විය හැකි දුර්වලතාවකි.
ඉහත දැක්වෙන බාධක ධර්මයන්ට හසු වීම නිසා බොහෝ සත්ත්වයෝ මිනිසත් බවක් ලැබූවත්, බුද්ධෝත්පාද කාලයක ඉපදුණත් බුදු බණ අසන්නට කියවන්නට පහසුකම් ඇති සමාජයක ජීවත් වුවත්, ඉන් නිසි ඵලයක් ලබාගැනීමට අසමත් වෙති. බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ වූ කුසල ධර්මයන්ගේ සම්මත්ත නියාමයට බැසගත නොහැකි ව පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටිති.
ඇත්තෙන් ම මේ බාධක ධර්මයන්, බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත්තේ ඒවා අතරින් අපට දුරු කළ හැකි දේ දුරු කරගෙන මේ ජීවිතය තුළදී ම තථාගත ධර්මයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අප යොමු කරවීමට බව අප පැහැදිලිව ම තේරුම්ගත යුතු ය.
එහෙයිනි නිවන් මග හෙළි වී පවත්නා මෙවන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයකදී, මන්දබුද්ධික නොවූ උතුම් මිනිස් ජීවිතයක් ලබන්නටත්, කල්‍යාණ මිත්‍ර සත්පූරුෂයන් ඇසුරු කරන්නටත්, බුදු බණ අසන්නට, කියවන්නට සාකච්ඡා කරන්නටත් අවස්ථාව ලැබූ මනුෂ්‍යයකු, පෙර කළ පින් බලයෙන් තමා ලද මේ උතුම් දුර්ලභ අවස්ථාව අවසන් වී යන තුරුත්, පෘථග්ජන චර්යාවෙහි ම ගැලී සිටින්නේ නම්, එය ඔහුගේ ම වරද මිස අන් කවරක් ද?
බුදු බණ නිවැරැදිව අසා දැනගෙන සද්ධා - විරිය - සති - සමාධි – පඤ්ඤා යන කුසල ධර්මයන් පුබුදුවාගැනීමේ අවස්ථාව අදත් අප හමුවේ විවෘත ව පවතී. ඒ අවස්ථාව පාදාගෙන, සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව නිවන් මගට යොමු වී සිටින පුද්ගලයා මහත් වාසනාවන්තයෙකි. මක් නිසා ද යත්, ඔහු පෘථග්ජනභාවය ඉක්මවූ සම්බෝධි පරායණ පුද්ගලයකු හෙවත් ආර්ය ශ්‍රාවකයකු ලෙස බුදු පියාණන් වහන්සේ වදාරා ඇති බැවිනි.

එදා බුදු බණ ඇසු සැටි

එදා බුදු බණ ඇසු සැටි

අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ක්‍රි. පූර්ව 06 වන සියවසේ දී ලොව පහළ වී පස්වග මහණුන් වහන්සේට දම්සක් පැවතුම් සූත්‍රයෙන් මංගල ධර්ම දේශනය කළ සේක. එතැන් සිට වර්තමානය දක්වාම යම් යම් වෙනස්වීම් යටතේ වුවත් ධර්ම දේශනා පැවැත්වෙන බව දැකිය හැකි ය.
ප්‍රථම ධර්ම සංඝායනාවේදී බෙදා වෙන් වුනු සූත්‍ර, විනය, අභිධර්මය යන තෙවලා බුදු දහම එදා පටන් මුඛ පරම්පරාවෙන් රැකගෙන ජනතාවට දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ සමත් වූහ.
ලංකාදීපයට වැඩම කළ වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇරඹුණු ධර්ම දේශනා ක්‍රමය වර්තමානයේ ‘කාලීන’ ධර්මදේශනා ක්‍රමය දක්වා පැවතීම ඉතා අගය කළ යුතුය.
කාලයෙන් කාලයට ඒ ඒ ධර්ම දේශනා ජනපි‍්‍රය වූ බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේයි.
ආරියවංශ ධර්ම දේශනාව, පන්සිය පනස් ජාතක ධර්ම දේශනාව, මංගල ධර්ම දේශනාව, කඨිනාසංශ ධර්ම දේශනාව, යුගාසන ධර්ම දේශනා මතක ධර්ම දේශනා, මෛත්‍රී වර්ණනා (අනාගත වංශ ධර්ම දේශනා) දේශනා, මිලිදු නාගසේන, ධර්ම සංවාදය, ආලෝක දමනය, අංගුලිමාල දමනය, සච්චක දමනය, සුවිසි විවරණ ධර්ම දේශනා පන්සාලිස් වස් ධර්ම දේශනා, නොසැත්තෑ ඥාණ ධර්ම දේශනා, මහා සතිපට්ඨාන දේශනා, පායාසි රාජඤ්ඤ සූත්‍ර දේශනා හා වර්තමානයේ කාලීන ධර්ම දේශනා සහ කාව්‍යමය ධර්ම දේශනා ආදී වශයෙන් දැක්විය හැකි ය. එසේම නාට්‍යානුසාරයෙන් ද ධර්ම දේශනා ලකපුරා ප්‍රචලිත විය.

Budu Dahama - බුදු දහම

https://www.facebook.com/photo.php?fbid=402125466551852&set=a.359528257478240.78214.359524467478619&type=1&theater

රත්නමාලී ගාථා


ආර්ය අෂ්ටාංගික මාර්ගය


නව අරහාදී බුදුගුණ භාවනාව

නව අරහාදී බුදුගුණ භාවනාව

බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ නවය අන්තර්ගතවන උතුම්ම භාවනාවකි. මෙම භාවනාව ඉතාමත් පහසුවෙන් වැඩිය හැකි කෙටි භාවනාවකි. උදේ හවස තෙරුවන් වන්දනා කර අවසානයේ මෙම භාවනාව වැඩීමෙන් ඔබට අපල උපද්‍රව දුරුකර ගැනීමටත් සෙත ශාන්තිය සලසා ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම බුදුගුණ නවයෙහි අර්ථය කෙටියෙන් අවබෝධ කරගෙන භාවනා කිරීම වඩාත් ප්‍රයෝජනවත් ය.
ඉතිපිසෝ භගවා යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
අරහං යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
සම්මා සම්බුද්ධෝ යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
විජ්ජාචරණ සම්පන්නෝ යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන්
මම සුවපත් වෙම්වා.
සුගතෝ යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
ලෝකවිදු යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
අනුත්තරෝ යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
පූරිසධම්ම සාරථි යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් මම සුවපත් වෙම්වා.
සත්ථා දේවමනුස්සානං යන බුද්ධ ශක්තියේ ආනුභාවයෙන්
මම සුවපත් වෙම්වා.
ලෝක ශිවංකර බුද්ධ දිවාකර ශාන්ති නායක භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් විශ්ව ශක්තියේ ආනුභාවයෙන් මාගේ පුණ්‍ය ශක්තියේ ආනුභාවයෙන්
මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා.
මා මෙන්ම මාගේ මවුපියන්ද මාගේ ගුරුවරුන් ද සකල ලෝක සත්ත්වයෝ ද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ

‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ’ යැ කියූ ලෙ සේ
හැදෙන දරුවෝ ද හැඳිනෙති ලද වය සේ
නොදැන නොවිමසා තතු උන් අයුතු කි සේ
යොදන බව නිසා හෙළ දරු පෙළ වැනැ සේ
මතුරට නොගතැ හැකි වූ අකුරෙකුත් නැත
බෙහෙතට නො ගතැ හැකි වූ ගස් වැලුත් නැත
වැඩක ට නො යොදතැ’කි වූ ළමයෙකුත් නැත
සරිකොට යොදතැ හැකි වූ මවුපියොත් නැත
එබැවින් ළදරු තුරුණු මහලු හැම දෙ නා
සැබැවින් යෙදියැ යුතු නිසි කිසෙහි යෙදුමෙ නා
නියතින් රටට සමයට තමනට ද ව නා
සැපතින් දියුණු වන්නට තැත් කරනු මැ නා

කොසොල් රජතුමා දුටු සිහින 16